Sunday, June 16, 2013

උග්ගල් අලුත්නුවර නව පුනරුදය - පියසටහන් 1

සංවර්ධනයේ නව පිවිසුම

උග්ගල් අලුත්නුවර  ඓතිහාසික ගම්මානයට ළඟා විය හැකි නව මාවතක අපේක්ෂාවන් කුළු ගන්වමින් ඓතිහාසික පෙරහර මාවත ද නවීකරණය වීමේ සිහිනය කාගෙත් සිත්තුළ පැවති දෙයකි. කාපට් කිරීම තබා තාර දමා අලුත්වැඩියාවක් හෝ ලැබෙතැයි සිතිය හැකි මානයක නොවීය.

එහෙත් 2013 ජුනි 13 බ්‍රහස්පතින්දා සබරගමු පළාත්සභා මන්ත්‍රී ගරු අකිල එල්ලාවල මහතා ගමට ළඟා වූයේ පස්දා සුබ මොහොතින් කාපට් අතුරා සකස් කෙරෙන මාවතක සිහිනය මල්ඵල ගැන්වීමේ අපේක්ෂාවෙනි. ධාරානිපාත වර්ෂාව ඇදහැලෙද්දීම එතුමා වටා රොක් වූ ගමේ ප්‍රභූවරුන්  ඓතිහාසික රජමහා විහාරයට ගොස් ගමේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැඩමවා  ආශීර්වාද බෝධිපූජාවක් මෙන්ම දේව පූජාවක් ද සංවිධානය කළහ.
උග්ගල් අලුත්නුවර ශ්‍රී විවේකාරාමාධිකාරී පූජ්‍ය ඇතිමලේ පඤ්ඤාසාර හිමිපාණන්වහන්සේ විසින් මෙහෙය වූ බෝධිපූජාමය ආශීර්වාදය


ඉංග්‍රීසි සමයේ 1872 පමණ ඉදි වූ ඒ 4 නව මාර්ගයේ සිට මේ ඓතිහාසික ගම්මානයට ළඟා විය හැකි පහසුම අතුරු මග වූයේ කිමී 151 කණුව අසලින්  වැටී ඇති මාවතයි.  පැරැන්නන් "රජමාවත" යයි හඳුන්වන තවත් මාවතක් වුවද 20 වන සියවස වන විට  බහුල ලෙස පරිහරණය වූයේ මෙයි.  එහෙත්  ඒ මග ද දුෂ්කර අඩිපාරක්ව තිබුණකි.
  
  • ඔය පාර ඒ කාලෙ තිබුණෙ වාහනයකට, ඒ කියන්නේ කරත්තයකට වත් එන්න පුළුවන් විදිහකට නෙවෙයි. හෝම්පලතැන්න හරහා එද්දි ගල් කන්ද. උඩහකඩේ හරිය ඉඳල පන්තියවත්ත කඩේ වෙනකං වැහිකාලේට මඩ ගොහොරුවක්. අනෙක් හරිය ගිරි කැළෑව
මේ 1933 වන විට එම පාර පැවති ආකාරය පිළිබඳව පැරැන්නෙක් කරන විස්තරයකි..
  • පාර විතරක් නෙවෙයි මුළු ගම ම කැළෑවක් වෙලා තිබුණෙ තවත් අයෙක් කථාවට එක්වෙති. සිඩ්නි එල්ලාවල බණ්ඩහමුදුරුවො ගමට ආවෙ කැළැව එලි කරගෙන මහා වැස්‍ස දවසක. ඇවිත් නවතින්න තිබුණ තානායමත් ඉලුක් හෙවිල්ලපු මැටි ගහපු එකක්. සර්ප විමානයක්. ඒ හින්ද මඩමෙවත්තකඩේ ඉඳන් තමයි උන්නාන්සෙ ආපු අවුරුද්දෙ  පෙරහර කළේ.







මේ 1933 පැවති තත්ත්වය ගැන කළ තවත් ප්‍රකාශයකි.
  • පෙරහරට පස්සෙ ගමේ කවුරු කවුරුත් එකතු කරගෙන පාර කැපුව. උන්නාන්සෙට ආණ්ඩුවෙත් ලොකු ලොකු අය කවුරුත් වගේ උදව් කළා. ඒ විදිහට තමයි මුලින්ම පාර හැදුනෙ. ඒ පාරෙ තමයි මෑතක් වෙනං තිබුණෙ. එකදාස් නමසිය අසූව අනුව තරම් මෑතදි තමයි තාර දාල හැදුවෙ.


මේ මාර්ගය 1993 දී පමණ නැවත තාර දමා ප්‍රතිසංස්කරණය කර ඇත. ඉන් පුසව ප්‍රධාන අළුත් වැඩියාවක් සිදු නොවූයෙන් අබලන්ව පැවතිනි. මේ ඓතිහාසික භූමියේ වාර්ෂික උත්සව සමයයන්හි ඇති වන තදබදය විශාල අවහිරයක්ව පැවතිනි.


Existing condition uggala aluthnuwara 2013 june

 2013 ජුනි 13 දින දිස් වූ පවතින මාර්ගයේ  ප්‍රධාන ස්ථාන හතරක්


ඓතිහාසික පෙරහර මාර්ගය 2013 ජුනි 13 දින දිස්වූ ප්‍රධාන ස්ථාන හතරක්.

2013 ජුනි 14 දින උදෑසන ඓතිහාසික "කොස්උරුප්පය" (ඓතිහාසික පූජනීය කොස් වෘක්ෂය) ඉදිරියේ සිට නව මාර්ග සංවර්ධනය ආරම්භ කරමින් නව අපේක්ෂා මුදුන් පත් කිරීමේ සමරු සේයා සටහන්
inauguration - Road Deve. Uggal Aluthnuwra




  • සිඩ්නි එල්ලාවලයන් 1933 දී අලුත්නුවරට අලුත්  යුගයක් උදාකර දුනි. ඒ ධාරානිපාත වැසි සමයක ගමට ළගාවෙමිනි.
  • මෝහාන් එල්ලාවලයන් ජලය සපයා දෙමින් අලුත්නුවර පරිසර වෙනස්වීම් සමග ඇතිව තිබූ වෙනසට පිළියම් යෙදීමට උරදුනි
  • අකිල එල්ලාවලයන් 2013 දී අලුත්නුවර තවත් අලුත් යුගයක අරුණළු පතුරවමින් කාපට් යොදා මාර්ග නවීකරණයට පියවර ගත්තේය. ඒ ද ධාරානිපාත වර්ෂාවක් කඩා හැලෙමින් පැවති අවස්ථාවක ගමට ළඟා වෙමිනි.
මේ සියල්ල දෙස ඈතින් සිට බලා සිටි වයෝවෘද්ධ ගමේ ඇත්තකු කණට කොඳුරා පැවසූ දෑ  සංක්ෂිප්තව දැක්විය හැකි තෙරතුරු අඩංගු වදන් පෙළ ඉහත පරිදි වෙයි.




භාවිත වූ විශේෂ වදන්
  • හෝම්පලතැන්න, මඩමෙවත්ත කඩේ,පන්තියවත්ත කඩේ - ගමේ විවිධ ස්ථාන වලට භාවිත වන නම් 
  • මඩගොහොරුවක් - මඩ සහිතව ලිස්සායන සහ එරෙන බිමක්
  • සිඩ්නි එල්ලාවල බණඩහමුදුරුවෝ - මේ ගැමියා සිඩ්නි එල්ලාවලයන්ව හැඳින් වූ ආකාරයයි. ඇතැම් විටක සිඩ්නි එල්ලාවල යන්න අතහැර "අපේ බණ්ඩහමුදුරුවෝ " යනුවෙන්ද හඳුන්වන පැරැන්නෝ අදත් වෙසෙති.
  • තානායම - බස්නායක නිළමේවරයා සඳහා වන නිළනිවාසය
  • මඩමෙවත්ත කඩේ - උඩරට රාජධානි සමයේ සාම්ප්‍රදායික විහාර දේවාල ගම්මානයක රාජකාරි සඳහා පිටස්තර පිදවිලි ගම්මානවලින් පැමිණෙන අයට තාවකාලිකව නවාතැන් ගැනීමට ඉදිව තිබූ නිවහන් හෙවත් නවාතැන්පල හැඳින්වූයේ මේ මඩම නමිනි. මඩමෙවත්ත යනු එවැනි නිවාසයන් හැඳින් වූ තවත් වදනකි. කඩේ යනු වෙන් හඳුන්වන ලද්දේද එයමය. එය දැන් වෙළඳ ස්ථානයක අරුත දෙයි. එකල එය පාරිභෙෘගික භාණ්ඩ හුවමාරුව සඳහා පැවති ස්ථානයක් වුනා විය හැකිය. මේ ස්ථනය අදද හැදින්වෙන්නේ මේ නමින්මය.
  • පන්තියවත්ත කඩේ - එකල අලි ඇතුන් බැඳ තැබුවේද, පිටස්තරින් එන ඇත්ගොව්වන් තාවකාලකිකව ලැගුම් ගත්තේ ද මේ සිථානයේය. අද එහි විදුලි ට්‍රාන්ස්පොමරය සවිකර ඇති අතර පුරාණ  ගොඩනැගිල්ල දක්නට නොලැබේ.